කෝටි 16කට අධික වටිනා කුෂ් සමඟ තිදෙනෙකු කටුනායකදී මාට්ටු

රුපියල් කෝටි 16කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16ක් මෙරටට රැගෙන ආ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.

මොවුන් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන, ඩුබායි වෙත පැමිණ, එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් ඊයේ (15) රාත්‍රී 07ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් තිදෙනා විසින් රැගෙන ආ ගමන් මලු අතර වූ එක් ගමන් මල්ලක් තුළ, පැකැට් 60ක් ලෙස අසුරා සකස් කළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 16යි ග්‍රෑම් 400ක් සඟවා තිබිය දී සොයා ගෙන ඇත.

මොවුන් තිදෙනා කොළඹ හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඉන් පිරිමි පුද්ගලයින් දෙදෙනා 33හැවිරිදි වියේ හා 28 හැවිරිදි වියේ පසුවේ. කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.

මොවුන් අතරින් එක් අයෙකු සම්භාහන ආයතනයක් පවත්වාගෙන යන අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් තිදෙනාව අද (16) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *