ජොන්ස්ටන් සහ පුත්‍රයා රිමාන්ඩ්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා ජනවාරි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ, සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවය.

මෙම චෝදනාවට අදාළව හිටපු අමාත්‍යවරයාගේ තවත් පුත්‍රයකු සහ සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකුද මේ වනවිට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යොදවා තිබීමෙන් රජයට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පාඩු කළේයැයි වූ චෝදනාවට හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් දී තිබුණි.

ඒ අනුව ඉකුත් දෙසැම්බර් 30 වැනිදා කුරුණෑගලදී අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු සහ මෙම සිදුවීමට අදාළව කූඨ ලේඛන සැකසීමේ චෝදනාවට ඊයේ (04) අත්අඩංගුවටගත් සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල නැමැත්තාද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මෙවන් පසුබිමක ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ අද පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත දැනුම් දී තිබු අතර එසේ නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බවද පොලීසිය හිටපු අමාත්‍යවරයාට දැනුම් දී තිබුණි. 

ඒ අනුව හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පුත්‍රයකු වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු අද පෙරවරු 8.40ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

එහිදී ප්‍රකාශ ලබාගැනීමෙන් පසු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අනතුරුව අද පස්වරුවේ වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *