සමාජමාධ්‍ය හරහා බාලවයස්කාර දැරියකට පහරදීමේ වීඩියෝපටයේ සිටි දැරියගේ පියා අත්අඩංගුවට

සමාජමාධ්‍ය හරහා බාලවයස්කාර දැරියකට පහරදීමේ වීඩියෝපටයක් සංසරණය විම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් මාදම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිතුමා සහ පොලිස් නිළධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එහිදී දරුවාගේ අනන්‍යතාවය හදුනාගැනීමට හැකි වී ඇති අතර මෙම ළමා අපචාරය සිදුකළ බවට සැකපිට එම දැරියගේ ම පියා අත්තඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු පහක දැරියකි. ඇය මාදම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පිහිටි රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ, ජීවත් වී තිබේ. දැරිය තම පියාගේ පහරකෑමට ලක්ව ඇත්තේද එම නිවස තුළදීමය.

අත්තඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ දැරියගේ මව (සැකකරුගේ බිරිද) දැනට වසරකට පෙර සිට විදේශගතව සේවය කරන බවයි. තම බිරිදගේ අනියම් සම්බන්ධයක් තිබෙන බවක් බිරිඳ විසින්ම  සැමියාට පවසා තිබෙන අතර එ් හේතුවෙන් තම දරුවාට පහර දී ඇති බවත් ඉන් තම බිරිද බියවැද්දීම අරමුණු කරගත් බවත් ඔහු වැඩිදුර‍ටත් පොලිසිය ඉදිරියේ සදහන් කර තිබේ. ඒ අනුව සැකකරු දැරියට පහර දුන් අවස්ථාවේදී ගත් වීඩියෝපට තම බිරිදට යවා ඇත්තේ ඒ අනුවයි.

දැරිය ඊට දින කිහිපයකට පෙර ශල්‍යකර්මයකට භාජනය කර ඇත්තේ හිසේ වූ ගෙඩියක් හේතුවෙනි. කෙසේ නමුත් තම පියාගේ පහරදීම හේතුවෙන් ඇය තවදුරටත් තුවාල ලබා ඇති බවයි පැවසෙයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති පුද්ගලයෙකු බවයි.

සැකකරු අත්තඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී සැකකරුගේ මවද (දැරියගේ මිත්තණිය) පොලිස් නිළධාරීන්ට බාධා වන අයුරින් හැසිරීම හේතුවෙන්, රාජකාරියට බාධා කිරීම සාපරාධී බලහත්කාරය පෑම  සහ මෙම අපරාධයට අනුබල දීම සදහා යන චෝදනා මත අත්තඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළේය.

පහරකෑමට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණය සදහා රජයේ අධිකරණ වෛද්‍ය නිළධාරී වෙතටත්, සැකකරු සහ සැකකරුගේ මව බත්තරමුල්ල ළමා හා කාන්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රන්දිය උයනෙන් මෙම දැරියගේ ශෝකජනක පුවත වාර්තා වන්නේ පසුගියදා රන්දිය උයනේ දී ම කොන්ක්‍රීට් කැබැල්ලක් හිස මතට කඩා වැටීම හේතුවෙන් හත් හැවිරිදි පිරිමි දරුවෙකුගේ අවසන් ගමන් යෑමේ ඛේදාන්තයේ උණුසුම අකාමකා යන්නටත් කලින්ය. සිදුවීම් දෙකෙහි වෙනස වී ඇත්තේ එක් දරුවෙකුගේ පණ නැවත ඉල්ලන දෙමාපියන් සහ තවත් දරුවෙකුගේ පණ නැසීමට තැත් කරන දෙමාපියන් පිරිසක් වීමය. අපි, අවධානයෙන් පසුවෙමු – අපේ දරුවන් රැකගනිමු.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *