2020 වසරේදී අඹුසැමි යුවලකගේ අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණේ මීට කලකට ඉහතදී යි. නමුත් ඔවුන් පිළිබද කිසිදු කරුණක් අනාවරණය නොවීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ද පැමිණිලි කරන්නේ ඒ අනුවයි.
මෙලෙස අතුරුදන් වී තිබුණේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත, අංක 104/456 නිවසේ පදිංචිව සිටි අයි.එම් සුනිල් කුමාරසිංහ (62) සහ කාමන්ද සිල්වා (62) යන දෙදෙනායි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ඉන්දික ලොකුහෙට්ටිගේ මහතාට සහ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේතුංග මහතාට මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් නැවත පැමිණිල්ලක් කර තිබුණේ අතුරුදහන් වූ අයවලුන්ගේ සහෝදරියක් විසිනි.
ඔවුන් දෙදෙනාගේ මැදිහත්වීම මත මෙම පැමිණිල්ල විමර්ශනය කිරීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 03 හි ස්ථානාධිපති ජානක වීරක්කොඩි මහතාට පවරා තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ දෙකරුණේ පැය ගණනක පරීක්ෂණයකින් හා කටඋත්තර සටහන් කරගැනීමකින් අනතුරුවයි.
වයස අවුරුදු 46 ක් වන මොහොමඩ් සුසෙයි නවුෆා නමැත්තෙකු පළමු සැකකරු වශයෙන් අත්තඩංගුවට ගැනෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු ලෙසත් නිතර නිතර අසල්වාසීන් සමඟ අඩදබර කරනුනෙකු බවත් පොලිසිය සදහන් කරයි. ඔහුගේ පාපොච්චාරණය අනුව අපරාධයේ සුලමුල සොයාගන්නට හැකියාව ලැබී තිබේ.
ඔවුන් අතර තිබූ පෞද්ගලික ආරවුලක් මත සැකකරු සහ ඔහුගේ බිරිද වන ෆාතිමා (අවු 48), රවින්ද්‍රන් නොහොත් රාදික් (අවු23) නමැත්තෙකුද සම්බන්ධ කරගනිමින් අතුරුදන් වූවන් 2020 වර්ෂයේ දී තියුණු ආයුධවලින් කපාකොටා, ගෙල කපා ඝාතනය කළ බවට සැකකරු පාපොච්චාරණය කර තිබේ.
අනතුරුව නිවස පිටුපස පිහිටි ඇළ මාර්ගයක වළක මළසිරුරු දෙක මිහිදන් කර තිබේ වසර හයක් යනතුරු එම මෘත ශරීර හෝ කිසිදු සාක්ෂියක් කිසිවෙකුට සොයාගැනීමට අපොහොසත් වන මට්ටමට මෙම ඝාතනය සිදුකර තිබේ.
කෙසේ වෙතත් මෙම මළසිරුරු මතු වුවද ප්‍රධාන සැකකරු විසින් එම ශරීර නැවත නැවත පාගා මළසිරුරු යට යවා තිබේ. මෙම ඝාතනය දිගින් දිගටම අභිරහසක්ව පැවතියේ ඒ හේතුවෙනි.
කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අදාල ස්ථානයට ගෙන්වා ස්ථානීය පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුව අද දින(24) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 04 මහේස්ත්‍රාත් එම්.එල් නුවන් මධුශංක මහතාගේ නියෝග මත ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ හා විශේෂ සොකෝ පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්, අධිකරණ වෛද්‍ය නිළධාරීතුමාගේ පරීක්ෂණ මත මේ වන විටත් මෘත ශරීර ගොඩගනිමින් සිටී.






