එයාර් බස් ගනුදෙනු විමර්ශනයේ ප්‍රියංකා නයෝමාලිට විවෘත වරෙන්තු

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන   ප්‍රියංකා නයෝමාලි විජේනායකට   විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව  මහේස්ත්‍රාත් පසන් අමරසේන  අද (15) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාල දෙවන සැකකාරිය වන ප්‍රියංකා නයෝමාලිහට දින වරෙන්තුවක් නිකුත් කර ඇති බැවින්   විවෘත වරෙන්තුවක් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන  ලෙසට කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස වරෙන්තු නිකුත් කළා.

මෙම දෙවැනි සැකකාරිය වෙනුවෙන් අධිකරණයට ඇප තබා තිබූ ඇපකරුවන් වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන   ප්‍රියංගි අනුෂ්කා විජේනායක එම ඇපකාරිත්වයෙන් ඉවත් කරන  ලෙස ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවද ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේ මිලියන 10ක එම ඇප මුදල රාජසන්තක කළ හැකි බවයි.

එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා නඩු ගොනුව නිරීක්ෂණය කර දන්වා සිටියේ මිලියන 10ක් නොව  ලක්ෂ 200ක ඇප මුදලක් අධිකරණයට තැන්පත් කළ යුතු බවත් එම ඇප මුදල රාජසන්තක කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්විය යුතු බවයි.

එහිදී ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඇපකරුවන් දෙදෙනාට විදේශ ගත වීමට අවශ්‍යතාවයක් ඇති බවයි.

ඒ අනුව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන   ප්‍රියංකා නයෝමාලි විජේනායක⁣ට ඇප තැබු ඇපකරුවන් දෙදෙනාගේ ඇප ඉවත් කිරීම සහ එම ඇප මුදල් රාජසන්තක කිරීමට හේතු ලිඛිතව අධිකරණයට දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

නඩුව ලබන 22 යළි කැඳවිමට නියමිතයි.

මෙම සිද්ධියට අදාල පලමු සැකකරුවන කපිල චන්ද්‍රසේන මේ වන විට මිය ගොස් තිබෙනවා.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *