මීගමුව බන්ධනාගාර පරිශ්ය ගිනිදැල් මේ වනවිට නිවී ගොස්ය. ජීවිත 31 බිලිගත් ඒ මහා ඛේදවාචකය අවසන් වී අදට සතියක් ගෙවී ගොස් ඇතත් අද (14) උදෑසන ද එය යළි සිහියට නැගුණේ තවත් නිලධාරීන් දෙදෙනෙකු අවසන් හුස්ම හෙළීමත් සමඟය.
කෙසේ වෙතත් තවත් ජීවිත කිහිපයක්ම මරණය අබියස සටනක බව කිව යුතුමයි. එවන් පසුබිමක මීගමුව බන්ධනාගාරය අපරාධ ස්ථානයක් ලෙස ප්රකාශයට පත්කර තිබේ.
මුළු මහත් ශ්රී ලංකාවම කඳුළින් සහ කම්පනයෙන් ගොළු කරමින්, මීගමුව බන්ධනාගාර පරිශ්රය පෙර නොවූ විරූ ආකාරයේ ලේ වැගිරුණු යුද පිටියක් බවට පත්වූයේ පසුගිය ජූලි මස 6 වෙනි සඳුදා දින උදෑසනය.
සිරකරුවන් දෙපිරිසක් අතර හටගත් ගැටුමක අවසානය සටහන් වන්නේ රාජකාරිය දේවකාරිය කරගත් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකුගේ ජීවිත බිලිගනිමිනි. එපමණක් නොව ගැටුමින් බන්ධනාගාර රැඳවියන් 21 දෙනෙකුට ද දිවි අහිමි වුණි.
සතියක් පුරා අවසන් හුස්ම පොඳ වෙරෙන් අල්ලාගෙන ජීවිතයක් මරණයත් අතර සටනක සිටි බන්ධනාගාර විශේෂ උපක්රමික ඒකකයේ සන්දික ලෂාන් ගුණවර්ධන මහතා සහ මධුසර රණවීර මහතා දිවි ගමනට සමුදුන්නේය.
බන්ධනාගාර නියාමකවරයෙකු වන මධුසර රණවීර මහතා ජීවිතක්ෂයට පත්වන විට 25 හැවිරිදි වියේ පසුවුණි.
ලුණුගම්වෙහෙර, නවනගරය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන මධුසර බන්ධනාගාරය තුළදී කාගෙත් ආදරය දිනාගනු ලැබුවේ වයසින් අඩුවීම නිසාවෙනි. ”අපේ පොඩි එකාත් අපිව දාලා යන්නම යයි” යනුවෙන් හදවත රිද්දන ඒ වචන බන්ධනාගාර ෆේස්බුක් පිටුවේ පළවන්නේ කාගෙත් දෙනෙතට කඳුලක් එක්කරමින්ය.
“සතියක් හුස්ම අල්ලන් හිටියා මං – ඒ ඇති නේද අම්මේ
පොල්කටු සිදුරෙන් නෑව්වෙ මාව – රිදෙනවට නේද අම්මේ
පොලු පහරවල් වදිද්දි හිසට -මතක් උනා මට ඒක අම්මේ
අයියලා දෙන්නා මැද්දෙ වැඩියෙන්ම -හුරතල් උනේ මං නේද අම්මේ
මං ආවෙ ටික කාලෙකටයි ඉතිං – දැන් යන්න වෙනවා මට අම්මේ
දවස් හතක් අල්ලන් උන්නේ නුඹ මාව -බලන්න එනකම් මගෙ අම්මේ
තියටරේ ඇඳක් උඩ ඉන්නවා දකින්න බැරිවග – දන්නවා මං අම්මේ
සත් දිනක් බෝ සෙවණ යට නුඹ – මට ආයු ඉල්ලා වැන්දා මං දැක්කා අම්මේ
නෑහුනා නෙවෙයි ඒත් මට – යන්නම උනා අම්මේ
හැමෝම කියනවනෙ මං – වීරයෙක් කියලා අම්මේ
ඉතිං ඇයි මේ කඳුලු ඒ වීරයා – නුඹෙ පුංචි පුතා අම්මේ…
– ශකී අබේසේකර -“
මේ, මධුසරගේ වියෝවය දරාගත නොහැකිව ෆේස්බුක් ගිණුමක ලියැවුණු වදනක් පෙළකි.





