ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවැනි එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද (14) පස්වරු 03.00ට රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතව තිබේ.

පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මොහ්සින් නක්වි ඊයේ එරට පාර්ලිමේන්තුවේදී පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එරට හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බවයි.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ ගැටලු‍ මතුවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් යළි දිවයිනට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණි.

කෙසේ වෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක, මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ බලධාරීන් පාකිස්ථාන බලධාරින් සමග පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබූ අතර, ජනාධිපතිවරයා ද සහතික වී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

එසේම ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද පාකිස්ථානයේ ආරක්ෂක ප්‍රධානීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ඒ අනුව ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටලයට සහ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය තුළ මෙන්ම පිටත ද විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් පැවති ව්‍යාකූල තත්ත්වය සමතයකට පත්වීමත් සමග පාකිස්ථාන සංචාරය අතහැර ආපසු පැමිණීමට සූදානම්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිඩකයින් සියලු දෙනාම නැවත තරග සඳහා සහභාගී වීමට තීරණය කර තිබේ.

මේ අතර, මෙම තරගාවලියෙන් පසුව ආරම්භ වන ශ්‍රී ලංකා – පාකිස්ථාන සිම්බාබ්වේ තුන්කොන් පන්දුවාර 20 තරගාවලිය මේ මස 18 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

එමෙන්ම තරගාවලියට එක්වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ පාකිස්ථානයට පැමිණියහ.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *