මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට

කැනඩාවේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ප්‍රකාන්‘ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන ජාවාරම්කරුවකු පසුගිය (19) වත්තල, ලන්සියාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක් සොයාගත් බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික වැඩසටහනට සමගාමීව සිදුකරනු ලබන වැටලීම් යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරු වත්තල, පෑලියගොඩ, මහබාගේ ඇතුළු ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බව පොලිසිය කියයි.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළෙන බව කියන ‘අලී‘ නැමැත්තෙකු විසින් මෙම සැකකරුට මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවත් කැනඩාවේ සිටින ‘ප්‍රකාන්‘ නැමැත්තා සමග මෙම සැකකරු සමීප සම්බන්ධතා පවත්වා ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මනුෂ්‍ය ඝාතන සිද්ධියකට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මීට වසරකට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ බවත් එහිදී මිතුරු වූ පුද්ගලයකු විසින් කැනඩාවේ සිටින ‘ප්‍රකාන්‘ නැමැත්තා හදුන්වාදී ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තවත් සැකකරුවන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මෙහෙයවීමෙන් කැලණිය කොට්ඨාස I බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *