එතෙර සැඟව සිටින කුඩ්ඩන්ගේ මෙරට ගෝලයන් හතරකගේ ගිනුම් අත්හිටුවයි

බැංකු ගිණුම් 27ක් සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට දීමට බැංකු කළමණාකරුවන්ට නියෝග

විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට තොරතුරු හෙළි වී ඇති මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනකුගේ බැංකු ගිණුම් 07ක් අත්හිටුවීමට නියම කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු හා සැකකාරියගේ නමින් ඇති බැංකු ගිණුම් 27ක් සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට දීමට බැංකු කළමණාකරුවන්ට නියම කළේය.

සැකකරුවන් තිදෙනාගේ හා සැකකාරියගේ නමින් ඇති බැංකු ගිණුම් සම්බන්ධ විස්තර එම බැංකු ගිණුම් වලට මුදල් ලැබීම්, එම බැංකු ගිණුම් වලින් මුදල් ආපසු ලබා ගැනීම්, ට්‍රේලර් යන්ත්‍ර භාවිතා කර එම බැංකු ගිණුම් වලින් මුදල් මෙන්ම භාන්ඩ ලබා ගැනීම් පිලිබඳ විස්තර මෙන්ම එම අවස්ථාවන්ට අදාළ සී.සී.ටී.වී. දර්ශනද විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා බැංකු කළමණාකරුවන්ට වැඩිදුරටත් නියම කළේය.

විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ජාවාරම්කරුවන් හෙළි කර ගැනීම සඳහා විමර්ශනය කරන බව කියමින් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා එලෙස නියම කළේය.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ පොලිසිය බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක අංජන මහතාට ලැබුණු තොරතුරකට අනුව පසුගිය අප්‍රේල් 07 වැනිදා ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් කිලෝ 09ක් සහ අයිස් ඇතුළු කිලෝ 12 ක් ඇතුළු විශාල මත්ද්‍රව්‍ය තොගයක්ද සමඟ විදේශ රටවල සඟව මත්දව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලන්ට මෙරට පහසුකම් සපයන මංගල සුරාජ් පෙරේරා නමැත්තකු මත් ද්‍රව්‍ය තොගයද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

විදේශ රටක සැඟව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින රංජිත් කුමාර දිසානායක හෙවත් කොණ්ඩ රංජි සහ දිප්පිටිගොඩ ළහිරු නමැත්තන් සමඟ එක්ව මංගල සුරාජ් පෙරේරා නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට තොරතුරු හෙළි වූ බවද මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයා ගත් මුදල් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල ඔහුගේ නමින් ඇති ගිණුම් ගණනාවක තැන්පත් කර ඇති බව මුලික විමර්ශන වලදී හෙළී වී ඇතැයිද ඊට අමතරව තවත් සැකකරුවන් දෙදෙනකුගේ හා සැකකාරියකගේ නමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් ගණනාවක තැන්පත් කර ඇති බව හෙළි වී ඇතැයිද පොලිසිය දැනුම් දුන්නේය.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *