කළුතර ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙකු අත්අඩංගුවට

පසුගිය 28 වෙනිදා කළුතර වෙට්ටුම කඩේ ප්‍රදේශයේදී වෙඩි තබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙම අපරාධ සිද්ධියේ සැලසුමේ ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරු මෙම ඝාතනය සිදු කළ අපරාධකරුවන් සඳහා රැකවරණය ලබාදීමේ කටයුතු කර ඇති බවට අනාවරණවී ඇත.

මොවුන් දෙදෙනා කළුතර නගරයේ ක්ලබ් මාවත ක්‍රීඩා පිටිය අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 22,630ක් ද සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය ප්‍රකාශ කළේය.

පොලිසියට ඔත්තු ලබා දුන්නැයි සැකපිට පසුගිය 28 වෙනිදා කළුතර දකුණ මරික්කාර් වීදිය පදිංචිව සිටි පකිර් මොහොමඩ් මොහොමඩ් සපික් නමැති 43 හැවිරිදි ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කරන ලදී.

වෙඩි තැබීමට සන්නද්ධ පුද්ගලයන් පැමිණි බව කියන මෝටර් රථය තෙබුවන පොලිස් වසමේ තැපැල් කාර්යාලය ආසන්නයේ විකල්ප මාර්ගයේදී සොයාගත් ගත් බව සඳහන්ය.

ඊට යොදා ගත් තවත් වෑන් රථයක් දොඩංගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී එදිනම පොලිසිය මගින් සොයාගෙන තිබිණි.

මෙම ඝාතනය අපරාධ කල්ලි නායකයකු වන බෝම්බුවල නවීන් නැමැත්තා මොහොමඩ් ඉම්රාන් නමැති අපරාධ කල්ලි සාමාජිකයකු ලවා මෙහෙයවා ඇති බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රෝහාන් ඕලුගල මහතාට තොරතුරු ලැබී ඇත. ‍‍

ඒ අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක  චතුරංග මහතා ඇතුළු කණ්ඩායමක් යොදවා එම අපරාධයේ සැලසුම්කරු වන මොහොමඩ් ඉම්රාන් සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.

බෝම්බුවල නවීන් නැමැත්තා  මෙහි ප්‍රධාන සැකකරුට වෙඩික්කරු සහ අවි ආයුධ ආරක්ෂා සහිතව ලබාදීම, ඝාතනයේ සිදුකිරීම සඳහා රැගෙන ගොස් ඝාතනය සිදුකිරීමෙන් පසුව නැවත ආරක්ෂිතව  වෙඩික්කරුව අවි ආයුධ ආරක්ෂිතව රැගෙන යාම සඳහා සම්බන්ධවී කටයුතු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය කරගත් බව පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරුවන ඉම්රාන් නැමැත්තා කළුතර වික්‍රමසිංහ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර සෙසු සැකකරු ඇහැලියගොඩ තලාවිටිය පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඝාතනය සඳහා යොදාගත් අවි ආයුධ සහ වෙඩික්කරුවන් සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ.

පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පරීක්ෂණ පවත්වයි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *