වයස අවුරුදු 02ක දැරියක් මුදලට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් දෙදෙනා සහ සැකකරු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඔවුන් පෙරේදා (26) කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වයස අවුරුදු 02ක දැරියක් මුදලට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ මව, දැරියව මිල දී ගත් කාන්තාව සහ තවත් පිරිමි පුද්ගලයෙක් කිලිනොච්චිය, ධර්මපුරම් පොලිසි විසින් පසුගිය (25) දිනයේ අත්අඩංගුවට ගැණුනි.
ධර්මපුරම් ග්‍රාම නිලධාරීවරයා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.
දැරියගේ මව සහ පිරිමි පුද්ගලයා විසින් රුපියල් 50,000ක මුදලකට දැරියව විකිණීමට කතා කරගෙන ඇති අතර, කෙසේ වෙතත් රුපියල් 40,000ක මුදලකට දැරියව විකුණා ඇති බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය පිළිබඳව පොලිසිය ලැබුණු තොරතුරක් මත සැකකාරියන් දෙදෙනා සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙලෙස කටයුතු කර තිබේ.
පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වල දී දැරිය රුපියල් 40,000ක මුදලකට අලෙවිකර ලබාගත් මුදල්වලින් දැරියගේ මව සහ පිරිමි පුද්ගලයා විසින් රුපියල් 15,000ක් වටිනා පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිල දී ගෙන ඇති අතර, තවත් රුපියල් 10,000ක පමණ මුදලක් වැයකර විවිධ භාණ්ඩ මිල දී ගත් බව පවසා ඇත.
අත්අඩංගුවට ගැනුණු සැකකාර මව 27 හැවිරිදි වියේ පසුවන අතර ඇයට වයස අවුරුදු 04ක තවත් දැරියක් ද සිටියි.
අත්අඩංගුවට ගැනුණු සැකකාර පුද්ගලයා දැරියගේ මවගේ අනියම් පුරුෂයා වන අතර ඔහු 31 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම අත්අඩංගුවට පත්වූවන් අතර සිටින දැරිය මිල දී ගත් කාන්තාව 36 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවයි වාර්තා විය.
අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් දෙදෙනා සහ සැකකරු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ, ඔවුන්ව පෙරේදා (26) කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.





