සහෝදරියගේ බැංකු ගිණුමේ ඇති මුදල් ලබාගැනීමට ඇයගේ ඇටසැකිල්ල බැංකුව ගෙන ආ සහෝදරයා

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ජීටූ මුන්ඩා නමැති පුද්ගලයෙක්, මියගිය තම සහෝදරියගේ බැංකු ගිණුමේ ඇති මුදල් ලබාගැනීමට ඇයගේ ඇටසැකිල්ල බැංකුව වෙත රැගෙන සිද්ධියක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ පුද්ගලයාගේ සහෝදරිය පසුගිය ජනවාරි මාසයේදී මියගොස් ඇත.

ඇයගේ බැංකු ගිණුමේ තිබූ ඉන්දීය රුපියල් 20,000ක මුදලක් ලබාගැනීමට ඔහු කිහිප වතාවක්ම බැංකුව වෙත ගොස් තිබේ.

එම අවස්ථාවේදී බැංකු නිලධාරීන් ඔහුට පවසා ඇත්තේ මුදල් ලබාගැනීමට නම් ගිණුම් හිමියා එනම් මියගිය සහෝදරිය අනිවාර්යයෙන්ම බැංකුවට පැමිණිය යුතු බවය.

මෙහිදී ඇය මියගිය බව බැංකු නිළධාරීන්ට පැවසුවද ඔවුන් එය පිළිගෙන නොමැති බව සඳහන් වෙයි.

ඉන් දැඩි ලෙස කලකිරීමට පත් වූ ඔහු, සහෝදරියගේ මිනිය වළලා තිබූ ස්ථානය හාරා ඇටසැකිල්ල බැංකුවට රැගෙන විත් ඇත්තේ ඇය මියගිය බවට සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ජීටූ යනු නූගත් ගෝත්‍රික මිනිසෙකු බවත්, මියගිය අයෙකුගේ මුදල් ලබාගැනීමට ඇති නීතිමය ක්‍රියාවලිය බැංකුව ඔහුට නිසිලෙස පැහැදිලි කර දී නොමැති බවත් එරට පොලීසිය මාධ්‍යට පවසා තිබේ.

අවසානයේ පොලීසිය මැදිහත් වී ඔහුට එම මුදල් ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දු වී ඇති අතර, සහෝදරියගේ ඇටසැකිල්ල නැවතත් පොලිස් ආරක්ෂාව යටතේ භූමදානය කර තිබේ.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *